National Scout Week 2019

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතියට දීර්ඝ ඉතිහාසයක් තිබේ. දින හතක් පුරා පැවති එම ‘රැපියලේ වැඩ සතිය‘ ප්‍රධාන කොමසාරිස් සී.පී.ජයවර්ධන මහතාගේ යුගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර හයකින් පසු ප්‍රසිද්ද වැඩ දිනයක් පවත්වා අරමුදල් එකතු කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අවසරය ලැබිණ.

මුදල් එකතු කළ පළමු අවස්ථාව

එවකට Scouting For Boys කෘතියේ ප්‍රකාශකයා වූයේ ආතර් පියර්සන් මහතා ජීවිතයේ අග භාගයේදී ඇස් නොපෙනී අන්ධ භාවයට පත්විය. ඔහු ලොව පුරා අන්ධ ජනතාව වෙනුවෙන් සුවිසල් සේවාවක් කළේය. ඒ සඳහා අවැසි අරමුදලක් ගොඩනගාදීමට ලෝක බාලදක්ෂයින්ගේ අවධානය යොමුවිය. එකල ලෝක බාලදක්ෂ සඟරාවේ කර්තෘ හේඩ්න් ඩිමොක් මහතාගේ යෝජනාවක් පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ අවසරය ඇතිව මෙම වැඩ දිනය නම් කර බාලදක්ෂයින් ඒ වෙනුවෙන් මහන්සි වී වැඩකර මුදල් රුස් කිරීමට යෝජනා කෙරිණ. අන්ධ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීම උදෙසා බාලදක්ෂයින් තම ශ්‍රමය කැප කළේය. වර්ෂ 1914 මැයි මස 2 වෙනි දින සිදුකළ එම අරමුදල් එකතු කිරීමේ වැඩසටහන අතිශය සාර්ථකත්වයට පත්වූයේ බාලදක්ෂ ඉතිහාසයට එක් විය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරය තුළ පළමුවතාවට බාලදක්ෂයින් විසින් මුදල් උපයන ලද්දේ එ් ආකාරයෙනි.

මුදල් එකතු කළ දෙවැනි අවස්ථාව

ප්‍රථමවර මුදල් එකතු කිරීමෙන් පසු වසර 30 කට පසු 1944 මැයි මස 20 වෙනි Bob a job යන නමින් දිනයක් හදුන්වා දෙනු ලැබීය. දෙවෙනි ලෝක යුද්ධයෙන් අසරණ වූ අහිංසක මිනිසුන් උදෙසා සහන සේවා සැපයීම එහි අරමුණ විය. එම අරමුදල සරණ සේවා අරමුදල ලෙස නම් කළේය. එකල එංගලන්තයේ ව්‍යවහාරික මුදල් ඒකකය BOB විය. එම නිසාම එක් බාලදක්ෂයකු අවම වශයෙන් බොබ් එකක් හෝ රුස්කළ යුතු විය. බොබ් එකක වටිනාකම ශ්‍රී ලංකාවේ භාවිත කළ ව්‍යවහාරික මුදලින්  සිලිම්කි.

මුදල් එකතු කළ තෙවැනි අවස්ථාව

Bob a job week සංකල්පය බාලදක්ෂයින් තුළ වඩාත් ආකර්ශනීය වැඩසටහනක් විය. ලෝකයේ සියලුම බාලදක්ෂයෝ සතියක් තම ශ්‍රමය පරිත්‍යාග කරමින් අරමුදල් සම්පාදනය කළහ. ඒ සඳහා වසරකට සතියක කාලයක් තෝරා ගනු ලැබීය. 1949 අප්‍රේල් 18 වෙනි දින සිට Bob a job week ආරම්භ විය. බාලදක්ෂයකු විසින් උපයන ලද පළමු සිලිම ලෝක සරණ සේවා අරමුදලට පරිත්‍යාග විය. ඉතිරි මුදල් අදාළ රටවල ජාතික බාලදක්ෂ සංගමය, දිසා බාලදක්ෂ සංගමය හා බාලදක්ෂ කණ්ඩායම් වෙතට බැර විය. මෙහි තිබූ විශේෂත්වය වූයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්තුමාගේ සිට ඉන් පහළට සිටින පෝතක බාලදක්ෂයා දක්වා තරාතිරමකම බාලදක්ෂයින් මේ සඳහා සක්‍රීයව දායක වීම අනිවාර්ය වීමය. එහෙත් ලංකාවේ බාලදක්ෂයෝ එම වැඩසටහනට දායකත්වය ලබා දීමෙන් වැළකුණහ.

වැඩ සතිය ලංකාවට හඳුන්වාදීම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බාලදක්ෂ වැඩ සතියක් පවත්වන ලද්දේ 1950 වර්ෂයේ දීය. එවකට ප්‍රධාන කොමසාරිස් සී. පී. ජයවර්ධන මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන රැපියලේ වැඩ සතිය ලෙස නම් කළේය.  එම වකවානුවේදී සෑම බාලදක්ෂයකු විසින්ම රැපියලක්වත් එකතු කර අරමුදලට දායකත්වය ලබා දිය යුතුව තිබුණි.

ජාතික වැඩ සතියේ නම වෙනස් කිරිම

ජාතික වැඩසතිය ලෙසින් හැඳින්වූ අරමුදල් රුස් කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන කොමසාරිස් සී.බටුවන්ගල මහතාගේ වකවානුව තුළදී ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතිය ලෙස වෙනස් කරන ලදී. සතියකට සීමා නොකළ දින දහයක් ක්‍රියාත්මක කළ ජාතික සේවා සතිය මේ දක්වාත් ක්‍රියාත්මක වේ.

සේවා සතියේ අරමුණු

කාණ්ඩ වශයෙන් සංවිධාන වී කිසියම් කාර්යයක් සාර්ථකව නිමාකර දී ඒ සඳහා අභිමානයෙන් යුතුව මුදලක් උපයා ගන්නා ක්‍රමවේදයක් වන අතර මුදල් ලබා ගැනීමට පෙර කිසියම් කාර්යයක් සාර්ථකව නිමා කරදීම අනිවාර්ය වේ. සම්පූර්ණ නිල ඇඳුමින් යුතුව ජාතික සේවා සතියට සහභාගි විය යුතුය. බාලදක්ෂ හැඳුනුම්පත මගින් අනන්‍යතාව තහවුරැ කළ යුතුය. එමෙන්ම අවම වශයෙන් හතර දෙනෙකුගෙන් යුත් කාණ්ඩයක්, උප කාණ්ඩයක්, පර්ෂදයක්, හයක් වශයෙන් කාර්යයන්හි නිරතවිය යුතු අතර සෑම කුඩා ඒකකයකටම ජාතික බාලදක්ෂ මූලස්ථානය නිකුත් කළ කාර්ය කාඩ් පතක් තිබීම අනිවාර්ය කොට ඇත. පත්‍රිකා පොත්වලට මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.

ප්‍රදේශීය සීමා

බාලදක්ෂයන් තම දිස්ත්‍රික් සීමාවේ රුඳී සිටිය යුතුය. බාලදක්ෂයින් තම දිස්ත්‍රික්කයට අයත් බල ප්‍රදේශයේ පමණක් කාර්යයන්හි නිරත විය යුතුය. අදාළ දිසා කොමසාරිස්වරයාගේ නිසි අවසරයක් නොමැතිව වෙනත් පිට දිස්ත්‍රික්කවල කාර්යයන්හි නියැළී මුදල් එකතු කිරීම තහනම් කොට ඇත.

බාලදක්ෂයාට හිමිවනුයේ තෘප්තිය පමණි

විවිධ වයස් පරාසයන්ගේ ශිෂ්‍යන්ගේ හැසිරීම්, සිතුවිලි, පුහුණුව, චාරිකා කිරීම, සමාජය හදුනා ගැනීම, ශරීර සුවතාව, සමාජානුයෝජන ආදී නොයෙකුත් ප්‍රායෝගික පුහුණුව ලැබීමට ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතියෙන් ලැබෙන ප්‍රතිලාභයට අමතරව බාලදක්ෂ කණ්ඩායමට හා දිසාවටත් ජාතික මූලස්ථානය හා පුහුණු කඳවුරු නඩත්තුව සඳහාත් මෙම අරමුදල් නිකුත් තෙකරෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය ජනතාව තුළට කාවද්දමින් වාර්ෂිකව සමාජ සහ සම්බන්දය පවත්වමින් තානාපති සම්බන්ධතාවය හා සන්නාම කළමණාකරුවන් ලෙස බාලදක්ෂයන් සිදුකරන මෙහෙවර කිසි දිනෙකත් අගයනු දැක නෑ. ජනාධිපති සම්මානය දිනාගන්නා තුරු අවම වශයෙන් බාලදක්ෂයෙන් ජාතික සේවා හා මහජන සම්බන්ධතා සති 04-05 සහභාගීවීම සිදු වෙනවා. බාලදක්ෂයා තුළ විනයක් හා ශීක්ෂණය පවත්වා ගැනීමටත් නිර්මාණශීලී හැකියාවත්, තම  නායකයාට අනුව කාණ්ඩ තුළ ක්‍රියාත්මකවීමටත් ලැබෙන තෘප්තිය හැරෙන්නට බාලදක්ෂ සතිය තුළින් බාලදක්ෂයාට හිමිවනුයේ තෘප්තිය පමණි. 

වැඩසතිය වර්ජනය

නව යොවුන් විය ඉක්මවන බාලදක්යෂන් ගෙයින් ගෙට ගොස් සිදුකරන මෙවැනි සේවා සම්බන්දයෙන් සමාජයේ විවිධ මත දක්නට ලැබේ. ඇතැම් ජනප්‍රිය පාසල්වල බාලදක්ෂයන්, දෙමාපියන් ඒ සඳහා විවිධ විරෝධතා දැක්වීම හා දෝශාරෝපණ එල්ල කිරීමද දක්නට තිබේ.

අපහාස උපහාස විදදරාගනිමින් තමා ඇදි නිලඇදුමේ ගරුත්වය රකිමින් නිහඩව තම ඉලක්කය සපුරාගැනීම වෙනුවෙන් අසීරු කටයුත්තක් සිදුකරන ජාතික සේවා හා මහජන සම්බන්ධතා සතියට සහභාගීවන බාලදක්ෂයන් ලබා ගන්නා වූ මානසික පන්නරය ඊට සහභාගී නොවී විවේචනය කරන්නා වූ බාලදක්ෂයන්ට ගත නොහැකියි. තම සමවයසේ යහළුවන්ගේ නිවෙස් වලට පවා ගොස් සේවාවන් සිදුකරණ නව යොවුන් බාලදක්ෂයන් තුළ අභ්‍යන්තරිකව පන්නරය වන බාලදක්ෂ ජීවය කැපවීමෙන් තොරව පදක්කම් පසුපස ගොස් හුදෙක් ජනාධිපති සම්මානය ම අරමුණු කරගත් වැඩසතිය වර්ජනය කරන බාලදක්ෂයන්ට අභියෝගයක් බව තිව යුතුමයි. පාසල් වයසේදිම මෙවැනි මානසික පුහුණුවක් නොදැනුවත්වම ලබන බාලදක්ෂයා නැමැති පුද්ගලයා හට උපහාස යනු ඔහුගේ ගමන් මගේ සුළගක් තරම්වත් නොදැනෙන දෙයක් බව වටහාගත යුතුය…

නියාමනයට ඔබගේ සහයෝගය අත්‍යවශ්‍යයි

ජාතික සේවා සතියේ ජාතික සංවිධායක ලෙස සහාය ප්‍රධාන කොමසාරිස් ශ්‍රීලත් ද සිල්වා මහතා පත්කර ඇත. ජාතික සේවා සතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට දැනගැනීමට අවශ්‍ය නම් කාර්යාල වේලාවන් හිදී 0112433131 දුරකථන අංකයෙන් ජාතික බාලදක්ෂ මූලස්ථානය ඇමතිය හැකිය.