තරුෂ දිලංක අධ්‍යාපනය ලබන්නේ රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ දහතුන් වැනි වසරේය. ඒ තාක්ෂණ අංශයෙනි. තරුෂ මේ හෙලිකොප්ටරය නිර්මාණය කරන්නේ පාසලේ පැවති තාක්ෂණ ප්‍රදර්ශනයක් සඳහාය. බයිසිකල් එන්ජිමකින් තැනූ හෙලිකොප්ටරයේ පෙනුම නියමය. ඒත් යාළුවන් කීවේ එය තැනුවේ පාරේ යන්න කියාය. සිනා වෙවී සිටි තරුෂ ප්‍රදර්ශනය අතරමැද හෙලිකොප්ටරය ක්‍රියාත්මක කර අවශ්‍ය නම් එයට ගුවන්ගත විය හැකි බව පෙන්නුවේය.
දවසක් කුරුවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් යානයක් ආවා. ඒක දැකලා මගේ ආශාව ගොඩාක් වැඩි වුණා. මම ළඟටම ගිහින් හෙලිකොප්ටරය බැලුවා. එදා තමයි මට මුල්ම වතාවට හෙලිකොප්ටරයක් ළඟට ගිහින් නිරීක්ෂණය කරන්න ලැබුණේ. ඒ වේලාවෙ මම හිතුවා කොහොම හරි හෙලිකොප්ටරයක් හදනවා කියලා. මෝටර් රථය හදන එක පැත්තකින් තියලා ඒ ගැන මම අම්මට කිව්වා. අම්මා කිව්වා ” අනේ හෙලිකොප්ටරයක් දැකලත් නැති අපි කොහොමද ඕක හදන්නේ” කියලා. මම කිව්වා ” නෑ මට පුළුවන්… මම හෙලිකොප්ටරයක් දැක්කා ”කියලා.
විදුහල්පති එස්. අතුල සිරිමෙවන් මහත්මයා තාත්තා කෙනෙක් වගේ කෙනෙක්. එතුමා ඉස්කෝලෙ ළමයින්ට හොඳ අවස්ථාවක් ලබා දුන්නා නව නිර්මාණ ඉදිරිපත් කරන්න. ඒ තමයි විද්‍යාලයීය වාර්ෂික තාක්ෂණික ප්‍රදර්ශනය. වර්ෂ 2018 දී මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ නෑ. ඒත් කවදා හරි ප්‍රදර්ශනයට තියන්න හිතාගෙන මම මෝටර් රථයක් හදන්න පටන් ගත්තා.
“මේ සඳහා මම භාවිතා කළේ යතුරුපැදියක ඇන්ජිමක්. ඉතිරි උපාංග සඳහා ඉවතලන යකඩ කෑලි ආදිය යොදා ගත්තා. පෙති වල ප්‍රමාණයන් අවස්ථා කිහිපයක දීම වෙනස් කළා. අන්තර්ජාලය පාවිච්චි කරලා නොදත් දේවල් ගොඩක් දැන ගත්තා. අන්තිමට මම මගේ ඉලක්කය ජය ගත්තා. දැන් තියෙන්න මම හදාපු හෙලිකොප්ටරය ඉහළට ඔසවන්නයි. ඒ අවස්ථාව නෛතිකව ලැබෙනතුරු මම ඇඟිලි ගනිනවා. ඊට අවශ්‍ය ලේඛණ මේ වනවිට මා මගේ වැඩිහිටියන් මාර්ගයෙන් සම්පූර්ණ කරමින් ඉන්නවා. මොකද හෙලිකොප්ටරයක් වගේ මෙවලමක් ලංකාවේ නිෂ්පාදනය කළාම රටේ නීතියට අනුව වැඩ කරන්න ඕන. ඒ නිසා විදුහල්පතිතුමා මගින් කුරුවිට පොලිස් ස්ථානාධිපතිතුමාට මේ බව දැනුම් දුන්නා. ඔහු කීවේ ගුවන් යානයක් හදන්න පුලුවන් වුණාට එය ගුවන්ගත කරන්න නම් ගුවන් හමුදාවෙන් අවසර ගන්න වෙනවා කියලා. පොලිසියෙන් කරන්න තියෙන දේවල් මම කරලා දෙන්නම් කිව්වා. තව දුරටත් කිව්වෙ කිසිම හේතුවක් නිසා අනවසරයෙන් ගුවන්ගත කරන්න එපා කියලා.”
ඉතින් තරුෂගේ හෙලිකොප්ටරය තවම ගුවන්ගත වුනේ නැත. එය අඩියක් දෙකක් හෝ උඩ යන්නට බලාගෙන බිමට වී හිඳී. එය අතිශයින් ප්රවේශයමෙන් දියත් කළ යුතු බැරෑරුම් කටයුත්තක් බව සැබෑය. නමුත් තරුෂ මේ නිර්මාණය හරහා කියන්නේ අපේ රටේ අනාගත මානව සම්පතේ ප්‍රභාමත් බවය. අවශ්‍ය මගපෙන්වීම හා පහසුකම් ඇත්නම් මේ රටේ අනාගතය මේ තරුණයන් විසින් සමෘද්ධිමත් කරනු ඇති බවය.